බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීමෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව තමන් කොතරම් අනතුරු ඇඟවීම් සිදු කළද, වත්මන් රජය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රජය විසින් ගනු ලැබූ මෙම වැරදි තීරණවල අවසන් ප්‍රතිඵලය සහ පීඩනය අද වන විට සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බවයි. බලාගාරවල ක්‍රියාකාරීත්වය අඩාල වීමට මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සෘජුවම බලපා ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වැනි ධනාත්මක ආයෝජන අවස්ථාවන් ඉදිරියට රැගෙන යන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටියද, එම යෝජනා බැහැර කරමින් කටයුතු කිරීම පිළිබඳව ද රාජපක්ෂ මහතා සිය විවේචනය එල්ල කළේය. “කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නැහැ, ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කියලා අපි කිව්වා. නමුත් ඒවා හරවා යැව්වා. කොතරම් ධනාත්මක යෝජනා ඉදිරිපත් කළත් රජය ඒවාට සවන් දෙන්නේ නැහැ,” යනුවෙන් පැවසූ ඔහු, රජයේ මෙම ක්‍රියාකලාපය උපමාවකට නගමින් පැවසුවේ “කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ” යනුවෙන් තමන්ට හැඟෙන බවයි.
නොරොච්චෝලේ බලාගාරයේ උත්පාදන ධාරිතාව පහළ යාම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම පෙන්වා දෙන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ජාතික පද්ධතියට විශාල පාඩුවක් සිදුවන බවයි. නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයත් සමඟ ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ දේශපාලන සංවාදය තවදුරටත් උණුසුම් වී තිබේ.


















