රජය සිය නොහැකියාව වසා ගැනීමට බංකොලොත් දේශපාලනයක නිරත වන බවත්, රාජපක්ෂවරුන් ඩොලර් බිලියන 18ක් හොරකම් කළ බවට කළ ප්‍රකාශ රුපියල් මිලියන 20 බැගින් එකතු කරමින් ඔප්පු කිරීමට යන ගමනින් එම ඉලක්කය මේ ආත්මයේදී තබා ලබන ආත්මයේදීවත් සපුරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර අඩුවට තෙල් ගන්නා බව කීවද, අද රජය ලෝක වෙළඳපොළ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් ගෙවා ඩීසල් මිලදී ගන්නා බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, බාල ගල් අඟුරු ගෙන ඒමෙන් සිදු වූ පාඩුව විදුලි බිල වැඩි කර ජනතාව පිට පටවා ඇති බවට ද චෝදනා කළේය.
රජයේ නිලධාරීන්ට පීඩනය එල්ල කර පරණ බොරු ඔප්පු කිරීමට උත්සාහ කරන බව පවසන රාජපක්ෂ මහතා, පොලිස්පතිවරයා ස්වාධීනව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. එමෙන්ම කොළඹ වරාය නගරය බැංකුකරණ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගනිමින් මැදපෙරදිග ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බදු සහන ලබාදිය යුතු බවත්, මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ වහාම සාකච්ඡා කළ යුතු බවත් ඔහු යෝජනා කරයි. මීට අමතරව පොහොර අර්බුදය සහ වී සඳහා සාධාරණ මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් ගොවීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














