පසුගිය කාලයේ මෙරට ඇති වූ ‘අරගලය’ සඳහා විදේශීය ආධාර ලැබුණු ආකාරය සහ එම මුදල් බෙදාගත් ආකාරය පිළිබඳව ඉදිරි රජයක් යටතේ ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විමර්ශනයක් පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අද (13) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඇතැම් විදේශීය ආයතන හරහා මෙරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මට්ටමින් පවා තොරතුරු අනාවරණය වී ඇති බවයි. අරගලයේ නිරත වූ ඇතැම් පිරිස් අද වන විට වාහන හා දේපොළ ලබාගෙන විදේශගත වී ඇති බවත්, ඔවුන්ගේ උසිගැන්වීම් මත බිල්ලට ඉලක්ක වූ තරුණයින්ට අද වන විට මරණ දඬුවම වැනි දඬුවම්වලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව පිළිබඳව ද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, අධිකරණය ස්වාධීනව කටයුතු කරමින් සාධාරණය ඉටු කිරීම ගැන සතුටු වන බව පැවසීය. අහිංසක තරුණයින්ගේ ජීවිත පාවිච්චි කරමින් සිය දේශපාලන අරමුණු ඉටු කරගත් පිරිසක් අද වන විට රජ වී සිටින බවත්, යථාර්ථය එය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














