නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුම යටතේ සඳ වටා ගමන් කළ අභ්‍යවකාශගාමීන් සිව්දෙනා සිය ඓතිහාසික චාරිකාව නිමා කරමින් මේ වන විට යළි පෘථිවිය බලා පැමිණෙමින් සිටිති. සඳෙහි ඈත පැත්ත (Far side) පසු කරමින් මිනිසෙකු ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය වාර්තා කළ මෙම කණ්ඩායම, සිය අභ්‍යවකාශ යානයේ සිට පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුවට ඊයේ (අප්‍රේල් 08) සහභාගී වූහ.
ප්‍රධාන ගගනගාමී වික්ටර් ග්ලෝවර් (Victor Glover) ඇතුළු පිරිස රැගත් ‘ඔරායන්’ (Orion) කැප්සියුලය එළඹෙන සිකුරාදා පස්වරුවේ දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත වීමට නියමිතය. පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට යානය පැයට සැතපුම් 23,839ක (පැයට කිලෝමීටර් 38,365ක) දැවැන්ත වේගයකින් ගමන් කරන අතර, එහිදී ඇතිවන අධික ඝර්ෂණය හේතුවෙන් යානය ‘ගිනි බෝලයක්’ මෙන් දිස්වනු ඇත. මෙය මෙහෙයුමේ පවතින අවදානම් සහගතම අදියර ලෙස සැලකේ.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වය හරහා අනාගතයේදී සඳ මත ස්ථිර මිනිස් වාසස්ථාන පිහිටුවීමට සහ චීනයට පෙර සඳෙහි සිය බලය තහවුරු කර ගැනීමට අමෙරිකාව අපේක්ෂා කරයි. සඳ වටා කළ මෙම අසිරිමත් ගමනේ අත්දැකීම් සහ ඡායාරූප ඉදිරි දිනවලදී ලෝකය සමඟ බෙදා ගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව ගගනගාමීන් මෙහිදී පවසා සිටියහ.














