පෘථිවියේ විකිරණ පටි (Van Allen belts) පිළිබඳව වසර හතකට අධික කාලයක් දත්ත රැස්කළ නාසා ආයතනයට අයත් Van Allen Probe A චන්ද්‍රිකාව වසර 14ක අභ්‍යවකාශ ගමන නිමා කරමින් අද (මාර්තු 11) පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතය. කිලෝග්‍රෑම් 600ක් බරැති මෙම චන්ද්‍රිකාව පෘථිවියට කඩා වැටීමේදී මිනිසෙකුට හානි වීමේ සම්භාවිතාව 4,200කින් එකක් වැනි ඉතා අවම අගයක් ගන්නා බව නාසා ආයතනය සහ අමෙරිකානු අභ්‍යවකාශ බලකාය (US Space Force) තහවුරු කරයි.
අමෙරිකානු වේලාවෙන් මාර්තු 10 වැනිදා රාත්‍රී 7:45ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද දිනයේ) මෙය වායුගෝලයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන අතර එහිදී ඇතිවන දැඩි තාපය නිසා චන්ද්‍රිකාවේ වැඩි කොටසක් දැවී යනු ඇත. කෙසේ වෙතත්, එහි ශක්තිමත් කොටස් කිහිපයක් පෘථිවි පෘෂ්ඨයට පතිත විය හැකි බවට අනාවැකි පළ වේ. 2012 වසරේදී අභ්‍යවකාශ ගත කළ මෙම චන්ද්‍රිකාව සහ එහි නිවුන් චන්ද්‍රිකාව (Probe B), පෘථිවිය වටා ඇති ආරෝපිත අංශු පටි පිළිබඳව පෙර නොවූ විරූ දත්ත රැස් කළේය. වසර දෙකක මෙහෙයුමක් ලෙස සැලසුම් කළද, මෙය 2019 වසරේ ඉන්ධන අවසන් වන තෙක් වසර හතක් ක්‍රියාත්මක විය. විද්‍යාඥයන් මුලින් අපේක්ෂා කළේ මෙම චන්ද්‍රිකාව 2034 වන තෙක් කක්ෂගතව පවතිනු ඇති බවයි. නමුත් 2024 වසරේ සිට සූර්ය ක්‍රියාකාරීත්වය උපරිම වීම (Solar Maximum) නිසා ඇති වූ වායුගෝලීය බලපෑම හේතුවෙන් එය නියමිත කාලයට පෙර පෘථිවිය දෙසට ඇදී ඒම ආරම්භ විය. මෙම මෙහෙයුමේ දෙවැනි චන්ද්‍රිකාව (Van Allen Probe B) තවමත් කක්ෂයේ පවතින අතර, එය ඉදිරි වසර කිහිපය තුළ පෘථිවියට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














