පෘථිවිය අසලින් ගමන් කරන, නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි මධ්‍යම ප්‍රමාණයේ ග්‍රහක (Asteroids) 15,000ක් පමණ තවමත් හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත්, ඒවායින් එල්ල විය හැකි තර්ජනය වැළැක්වීමට මානව වර්ගයා සතුව තවමත් නිසි ආරක්ෂණ පද්ධතියක් නොමැති බවත් නාසා ආයතනයේ ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරිනී කෙලී ෆාස්ට් (Kelly Fast) පවසන්නීය.
‘සිටි කිලර්’ (City-killer) ලෙස හඳුන්වන අඩි 500ක් පමණ විශාලත්වයෙන් යුත් ග්‍රහක පිළිබඳව විද්‍යාඥයන් දැඩි අවධානයක් යොමු කර ඇත. ඉතා විශාල ග්‍රහක පවතින ස්ථාන පිළිබඳව තොරතුරු තිබුණ ද, මෙවැනි මධ්‍යම ප්‍රමාණයේ ග්‍රහක ඒවායේ ස්වභාවය නිසාම දුරේක්ෂවලට හසු කර ගැනීම අපහසුය. පෘථිවිය අසල මෙවැනි ග්‍රහක 25,000ක් පමණ ඇති අතර, ඉන් හඳුනාගෙන ඇත්තේ 40%ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි.
මෙම ග්‍රහක සූර්යයා වටා පෘථිවිය සමඟ ගමන් කරන බැවින් ඒවායින් ආලෝකය පරාවර්තනය වීම අවම වන අතර, එමඟින් ඒවා සොයා ගැනීම අතිශය දුෂ්කර වේ. මෙම ගැටලුව විසඳීම සඳහා නාසා ආයතනය ලබන වසරේදී ‘Near-Earth Object Surveyor’ නමැති අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට සැලසුම් කර ඇත. එය තාප සලකුණු (Thermal signatures) මඟින් අඳුරු ග්‍රහක හඳුනා ගැනීමට සමත් වනු ඇත.
ග්‍රහකයක් හඳුනා ගැනීමෙන් පසුව ද එය පෘථිවියේ ගැටීම වැළැක්වීමට (Deflection) අවශ්‍ය තාක්ෂණය අප සතුව තවමත් සූදානම් මට්ටමක නැත. 2022 වසරේදී ‘DART’ පරීක්ෂණය මඟින් ග්‍රහකයක ගමන් මග වෙනස් කළ හැකි බව ඔප්පු කළ ද, හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි ආරක්ෂණ යානා (Deflector crafts) තවමත් නිපදවා නොමැති බව විද්‍යාඥ නන්සි චබොට් (Nancy Chabot) පෙන්වා දෙයි.














