ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ප්‍රධානතම ආයතනය ජාතික ළමා රක්ෂක අධිකාරිය බවත්, දරුවන්ට සිදුවන ඕනෑම ආකාරයක අපයෝජනයකදී මැදිහත් වීම එහි ප්‍රධාන පරමාර්ථය බවත් එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය අවධාරණය කරයි. ඇය මේ බව පැවසුවේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
වයස අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී සිදුකරන කායික හා මානසික හිංසනයන් වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව ඇය එහිදී අනාවරණය කළාය. ළමා අපචාර වැළැක්වීම, අපචාරයට ලක්වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම සහ විමර්ශන කටයුතු නියාමනය කිරීම අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බවද සභාපතිනිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු කිසිදු දරුවෙකු සේවයේ නියුක්ත කළ නොහැකි අතර, අධ්‍යාපන ආඥා පනත අනුව වයස අවුරුදු 16 දක්වා දරුවන් අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතුය. මෙම නීති රීති උල්ලංඝනය කිරීම මෙන්ම දරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක කුරිරු හෝ අවමන් සහගත සැලකිල්ලක් ළමා අපචාරයක් ලෙස සලකනු ලබන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දරුවෙකුට තනි පුද්ගලයෙකු ලෙස ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියක් ඇති බවත්, කිසිදු තැනැත්තෙකු දරුවෙකුට වධ හිංසා කිරීමට හෝ අමානුෂික ලෙස සැලකීමට යටත් නොකළ යුතු බවත් ජාතික ළමා රක්ෂක අධිකාරිය සිහිපත් කර සිටී.















