ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය මෙතෙක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ. ඊයේ (23) දින අමාත්‍ය මණ්ඩලය රැස්වූ නමුත්, මෙම ප්‍රතිපත්තියට අදාළ කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බැවින් ඊට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද වී තිබේ.
මෙම ප්‍රමාදය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය ද කල් දමා ඇති අතර, මණ්ඩලය විසුරුවා හැරීමේ (Liquidation) නිශ්චිත දිනය ද පසුවට කල් යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර පහක් යටතේ සැලසුම් කර තිබූ අතර ඉන් අදියර හතරක් මේ වන විටත් අවසන් කර ඇති බව සඳහන් වේ.
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ කටයුතු ද අවසන් කර ඇති අතර, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම මණ්ඩලය විසුරුවා හරින දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රතිපත්තියට අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 28 වනදා නිකුත් කරන බවයි.














