මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත උපායමාර්ගික මඟපෙන්වීම සහ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අරමුණු කරගත් “ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” (NHDC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා රැස්විය. ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව සහ යුනිසෙෆ් වැනි ජාත්‍යන්තර ආයතනවල මෙන්ම මෙරට විශ්වවිද්‍යාල සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නියෝජනයෙන් සමන්විත වූ මෙම විද්වත් කතිකාවේදී නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට අදාළ සුවිශේෂී කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන්ම ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමීප කිරීම වෙනුවෙන් දිවයින පුරා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ස්ථාපිත කිරීම සහ එහි නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරිණි.
බෝ නොවන රෝග මර්දනය සඳහා සියලුම අංශවල සහභාගීත්වයෙන් යුත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීම මඟින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධාන ඉලක්කයක් බව මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව 2030 වසර වන විට මෙරටින් ජලභීතිකාව තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සැලසුම් මෙන්ම, පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් රෝහල් පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම අභිමානයෙන් යුතුව සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳීමට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ මූලික අභිප්‍රාය බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය විය.















