පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ප්‍රථමාධාර සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්ය කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය (NISS) අවධාරණය කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ධම්මික සේනානායක මහතා ප්‍රකාශ කළේ දැඩි හිරු රශ්මිය පවතින අවස්ථාවල මැරතන් සහ පාපැදි තරඟ වැනි ක්‍රීඩාවල නිරත වන පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටලු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
දැනට ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා පවතින අතර වායුගෝලයේ පවතින අධික ආර්ද්‍රතාවය නිසා ශරීරයට දැනෙන උණුසුම (Heat Index) තවදුරටත් ඉහළ ගොස් ඇත. උණුසුම් දර්ශකය අංශක 32 සිට 41 දක්වා පවතින විට අමතර ආරක්ෂිත පියවර ගත යුතු අතර එය අංශක 41 ඉක්මවන්නේ නම් එළිමහන් ක්‍රීඩාවල නිරත වීම අනතුරුදායක විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් ක්‍රීඩා උත්සව උදෑසන කාලයේදීම පවත්වා අවසන් කරන ලෙසත් විශාල උත්සව සංවිධානය කිරීමේදී ඒ පිළිබඳව අසල පිහිටි රෝහල් කල්තියා දැනුවත් කරන ලෙසත් ඔහු සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියි.














