ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය මෙන්ම සුවිශේෂී ස්වභාවික සම්පතක් වන ජාතික නාමල් උයන “ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ උත්සවයකදී මෙම ප්‍රකාශයට පත් කිරීම සිදු විය. හෙක්ටයාර 602ක භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙම උයන භූවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික වටිනාකම් රාශියක එකතුවක් ලෙස ජාත්‍යන්තර අවධානයට ද ලක්වූ ස්ථානයකි.
දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා කඳු පන්තියෙන් සමන්විත ජාතික නාමල් උයන තුළ කඳු වැටි හතක් පිහිටා ඇති අතර, එහි ඇති සුවිශේෂී ඛනිජමය වටිනාකම සහ වියළි කලාපීය වනාන්තර පද්ධතිය විද්‍යාත්මකව ඉතා වැදගත් වේ. මීට අමතරව, ලොව විශාලතම “එක් ටැම් සෙල්ලිපිය” සහ අතීත බෞද්ධ ආරාම සංකීර්ණවල නටබුන් මෙම භූමිය තුළ පිහිටා තිබීම එහි ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම තවදුරටත් තහවුරු කරයි. දශක තුනකට අධික කාලයක් පුරා මෙම උයන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ඉටු කළ අප්‍රතිහත කැපවීම ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.
මෙම 35 වන සංවත්සරය සනිටුහන් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුල් දින කවරය සහ “ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහය” ද පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. මෙම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හරහා ඉදිරියේදී නාමල් උයනේ සුරක්ෂිතභාවය සහ සංවර්ධන කටයුතු වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට රජය අපේක්ෂා කරයි.














