ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් සහ තෝරාගත් රැඳවියන් වෙනුවෙන් ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (02) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාවලිය වේගවත් වීමත් සමඟ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා භාරය වර්තමානය වන විට දෙගුණ තෙගුණ වී ඇති බවයි. සමාජයේ වැඩි කතාබහට ලක් නොවන එහෙත් නිහඬව විශාල මෙහෙවරක් ඉටු කරන මෙම නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ඊයේ (02) සහ අද (03) යන දෙදින පුරා ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන යටතේ දිවයිනේ සෙසු බන්ධනාගාරවල ද මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ දන්ත වෛද්‍ය සේවාවන් ජංගම සායන ලෙස පැවැත්වේ. බන්ධනාගාර පද්ධතිය තුළ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, රැඳවියන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ද මෙහි තවත් අරමුණකි.














