“රිය අනතුරුවලින් තොර හෙටක් සඳහා පාසලෙන් පෙළගැසෙමු” යන තේමාව යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සංවිධානය කළ වාර්ෂික සමස්ත ලංකා චිත්‍ර තරඟයේ බස්නාහිර පළාත් අදියර ඊයේ (07) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී ඉතා සාර්ථකව පවත්වා තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් තුළ කුඩා කල සිටම දැනුවත්භාවයක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම තරඟාවලිය සහ එහි ජයග්‍රාහකයින් පිළිබඳ තොරතුරු මෙසේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව සංවිධානය කරන ලද මෙම තරඟයේ මූලික වටයන් පාසල් මට්ටමින් පවත්වා තිබුණි. ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණි කාණ්ඩ යටතේ තේරී පත් වූ සිසුන් 200ක් පමණ ඊයේ පැවති අවසන් මහා තරඟයට සහභාගී වී ඇත. ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සජීවීව මෙම තරඟය පැවැත්වුණි.
මෙහිදී එක් එක් ශ්‍රේණි කාණ්ඩ යටතේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් සිසුන් සඳහා පාපැදි ත්‍යාග ලෙස පිරිනැමූ අතර අනෙකුත් සියලුම සහභාගී වූවන්ට සහතික පත්‍ර සහ තෑගි වවුචර් පිරිනැමීමට කටයුතු කර තිබුණි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. එච්. චන්ද්‍රපාල සහ අධ්‍යක්ෂ ජනරාල් මිරැන්ඩෝ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














