නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි ඉඩමක් සහ දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් යන මහත්වරුන්ගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා චෝදනා කරන්නේ පොලිසිය අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් ප්‍රමාද කරන බවයි. කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ලබන ජූනි මස 12 වන දින නැවත කැඳවීමට නියම කළේය.














