රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි (Alexei Navalny) ඝාතනය කර ඇත්තේ දකුණු ඇමරිකානු විෂ සහිත ගෙම්බන්ගෙන් (Dart Frog) ලබාගන්නා විෂක් භාවිතා කරමින් බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. නෙවල්නිගේ මරණයෙන් වසර දෙකක් සපිරෙන මොහොතේ, ඔහුගේ සිරුරෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් පහක් (ස්වීඩනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය) මෙම නිගමනයට එළඹ ඇත.
පරීක්ෂණ වාර්තාවලට අනුව, නෙවල්නිගේ සිරුරේ ‘එපිබැටිඩින්’ (Epibatidine) නමැති විෂ රසායනය අඩංගු බව තහවුරු වී ඇත. මෙම විෂ ස්වභාවිකව රුසියාවේ දක්නට නොලැබෙන අතර, එය මෝෆීන් මෙන් 200 ගුණයක ප්‍රබලත්වයකින් යුක්තය. මෙය ශරීරගත වූ විට ශ්වසන පද්ධතිය අඩපණ වී ඉතා වේදනාකාරී මරණයක් සිදුවන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
මියුනිච් ආරක්ෂක සමුළුවේදී (Munich Security Conference) අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) ප්‍රකාශ කළේ, සිරගතව සිටි නෙවල්නිට මෙවැනි විෂක් ලබා දීමට රුසියානු රජයට හැර වෙනත් කිසිදු පාර්ශවයකට හැකියාවක් හෝ අවස්ථාවක් නොමැති බවයි. ඇය මෙම සති අන්තයේදී නෙවල්නිගේ වැන්දඹු බිරිඳ වන යුලියා නෙවල්නායා (Yulia Navalnaya) ද මුණගැසුණි. යුලියා පවසන්නේ මෙය විද්‍යාත්මකව තහවුරු වූ ඝාතනයක් බවත්, පුටින් යනු මිනීමරුවෙකු බවත්ය. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය බටහිර රටවල ප්‍රචාරක ව්‍යාපෘතියක් බවයි.














