නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින තුළ කල්පිටිය, බංගලවත්ත සහ සේතවාදී යන වෙරළ තීරයන් ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම කහ තොගය සොයාගත් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනයේ නිලධාරීන් විසින් අප්‍රේල් 06 වනදා රාත්‍රියේ බංගලවත්ත වෙරළ ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී වියළි කහ කිලෝග්‍රෑම් 80ක් පමණ අඩංගු උර දෙකක් සොයා ගන්නා ලදී. අනතුරුව අප්‍රේල් 07 වනදා සවස කල්පිටිය පොලිසිය හා එක්ව සේතවාදී වෙරළ තීරයේ සිදුකළ තවත් වැටලීමකදී උර 16ක අසුරා තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 827ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම මෙහෙයුම් මගින් සොයාගත් මුළු කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. උත්සව සමය තුළ මෙරටට සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව වෙරළ තීරයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ.














