NDB බැංකුවේ මෙහෙයුම් අංශයක සිදුවූ අභ්‍යන්තර මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී ඇත. මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ අදාළ සේවකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමටත්, සිද්ධියට අදාළ සාක්ෂි සහ වාර්තා සුරක්ෂිතව රඳවා ගැනීමටත් බැංකු කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් NDB බැංකුව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ මෙය බැංකුවේ එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සීමා වූවක් බවයි. එබැවින් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම්වලට හෝ තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදුවී නොමැති අතර බැංකුවේ සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ අභ්‍යන්තර පාලන සහ ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ස්වාධීන වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීම සඳහා විශේෂඥයෙකු පත් කිරීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
බැංකුව විසින් සිදු කරන ලද මූල්‍ය තක්සේරුවට අනුව, මෙම සිද්ධියෙන් සිදුවිය හැකි උපරිම අලාභය 2026 මාර්තු 31 අවසන් කාර්තුව සඳහා රුපියල් බිලියන 4.0 ක් පමණ වේ. කෙසේ වෙතත්, 2025 වසරේදී රුපියල් බිලියන 11 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති සහ 2026 මාර්තු වන විට රුපියල් බිලියන 990 ක සමස්ත වත්කම් පදනමක් හිමි NDB බැංකුව, මෙම අලාභය හමුවේ වුවද සිය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව සහතික වෙයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කර ඇති අතර, ඔවුන්ගේ නියාමන උපදෙස් මත අප්‍රේල් 6 දින ගෙවීමට තිබූ මුදල් ලාභාංශ (Cash Dividend) තාවකාලිකව අත්හිටුවා ඇත. නමුත් කොටස් ලාභාංශ (Scrip Dividend) යෝජනාව සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක වේ. බැංකුව අවසාන වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තහවුරු නොකළ කටකතා හෝ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.














