පෙබරවාරි 14 වැනිදා ලොව පුරා වැලන්ටයින් දිනය සමරන මොහොතක, ආදරයේ සැබෑ අර්ථය තම ජීවිතයෙන්ම සනාථ කළ අපූර්ව ආදරවන්තයෙකු පිළිබඳ පුවතක් නෙළුම්මල ගම්මානයෙන් වාර්තා වේ. ඔහු අනුර සරත් බස්නායකයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යහන්ගල කන්ද තෙවරක් නාය යද්දී, තමන්ට දිවි ගලවා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත්, පස් කන්දට යට වූ තම බිරිඳ සහ දියණිය අතනොහැර ඔවුන් බේරා ගැනීමට සටන් වැදී අවසානයේ ඔහු ද ජීවිතයට සමුදුන්නේය.
නාය යෑමත් සමඟ නිවස විනාශ වී බිරිඳ කරවටක් පස්වලට යට වී සිටියදී, අනුර තම ඇඟිලි පතුරු යන තෙක් පොළොව හාරමින් ඇයව ගොඩගැනීමට උත්සාහ කර ඇත. පළමු නායෙන් පසු තවත් නාය දෙකක් තමන් පසුකර ගලා ගියත්, ඔහු සිය බිරිඳගේ අත අත්නොහැර රාත්‍රිය පුරා ඇය සමඟ කතා කරමින් සිට තිබේ. පසුදා උදෑසන ගම්වැසියන් ඔහු බේරා ගැනීමට පැමිණෙන විටත් ඔහු බරපතල තුවාල ලබා සිටි අතර, “මම විතරක් බේරිලා මොකටද?” යනුවෙන් පවසා ඇත්තේ තම ආදරණීයන් වෙනුවෙන් වූ අප්‍රමාණ සෙනෙහස හේතුවෙනි. රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගිය ද, ඔහුගේ මෙම ජීවිත පරිත්‍යාගය මුළු මහත් සමාජයටම උතුම් ආදර්ශයක් බව ඔහුගේ සහෝදරයා වූ උඩත්තව අරියඥාන හිමියෝ පවසති.















