නේපාලයේ හෙට (05) පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් පසුගිය සතිය තුළ පමණක් ලක්ෂ අටක (800,000) පමණ ජනතාවක් කත්මණ්ඩු නිම්නයෙන් පිටව ගොස් ඇති බව එරට බලධාරීන් පවසති. නේපාලයේ මිලියන 30ක් වන සමස්ත ජනගහනයෙන් දසයෙන් එකක් පමණ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා අගනුවර වන කත්මණ්ඩු නිම්නය ආශ්‍රිතව ජීවත් වෙති.
නේපාල නීතියට අනුව සෑම පුරවැසියෙකුම තමන් ලියාපදිංචි වී ඇති මැතිවරණ කොට්ඨාශයේදීම ඡන්දය ප්‍රකාශ කළ යුතු අතර, බොහෝ දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ තමන් උපන් ගම් ප්‍රදේශවලය. කඳුකර භූමියකින් සමන්විත නේපාලයේ ගමනාගමනය අසීරු වුවද, ජනතාව සිය ගම්බිම් බලා යාම නිසා මහාමාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ. විදේශගතව සිටින නේපාල වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි නොවන බැවින් මෙරට වෙසෙන ජනතාව සිය ඡන්ද අයිතිය භාවිතා කිරීමට මෙලෙස දැඩි උනන්දුවක් දක්වති.
පසුගිය දින කිහිපය තුළ කත්මණ්ඩු නගරයේ බස් නැවතුම්පොළවල් සහ ප්‍රධාන මාර්ග කුඩා වෑන් රථ, බස් රථ සහ ජීප් රථවලින් පිරී පැවති අතර ජනතාව සිය ගම්බිම් බලා යාම නිසා අගනුවර ජනශුන්‍ය ස්වභාවයක් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














