නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ෂේර් බහදූර් ඩියුබා (Sher Bahadur Deuba) සහ ඔහුගේ බිරිඳ වන හිටපු විදේශ අමාත්‍ය අර්සු රානා ඩියුබා අත්අඩංගුවට ගැනීම සඳහා නේපාල බලධාරීන් අද (09) වරෙන්තු නිකුත් කර තිබේ. මුදල් විශුද්ධිකරණය සහ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට මුදල් විශුද්ධිකරණ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කත්මණ්ඩු අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
79 හැවිරිදි ඩියුබා මහතා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව (සිංගප්පූරුවේ බව වාර්තා වේ) සිටින අතර, තමන්ට එල්ල වී ඇති චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙය තම දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගෙන යන කුමන්ත්‍රණයක් බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කළ ඒවා බවත් ඔහු පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ නේපාලයේ ඇති වූ දැවැන්ත මහජන උද්ඝෝෂණවලින් පසු බලයට පත් වූ අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂාගේ නව රජය යටතේ, දූෂණ මර්දන මෙහෙයුම් වේගවත් කර තිබේ. මෙහි කොටසක් ලෙස හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත. ඩියුබා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් (Interpol) සහාය ලබා ගැනීමට ද නේපාල පොලිසිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














