පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාලයේ පැවැති “Gen Z” දූෂණ විරෝධී විරෝධතාවලදී සිදුවූ මරණ සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමේ චෝදනා මත එරට හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි (K.P. Sharma Oli) මහතා අද (28) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. දින දෙකක් පුරා පැවැති එම උද්ඝෝෂණ මර්දනය කිරීමේදී පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඕලි මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවට එරට පරීක්ෂණ මණ්ඩලයක් නිර්දේශ කර තිබුණි. 74 හැවිරිදි ඕලි මහතා සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පාලන සමයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රමේෂ් ලෙඛාක් මහතා ද පොලිස් භාරයට ගෙන ඇති බව නේපාල බලධාරීහු තහවුරු කරති.
මෙම සිදුවීමෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඕලි මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, පසුගිය මාර්තු 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයගත් රැප් ගායකයෙකු ලෙස ප්‍රකට දේශපාලනඥයෙකු වන බැලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා ඊයේ (27) නේපාලයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. නව රජය බලයට පත්වීමත් සමඟ දූෂණයට සහ මර්දනයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ පක්ෂය වන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (UML) ආධාරකරුවන් විරෝධතාවල නිරත වීමේ අවදානමක් පවතින බැවින් කත්මණ්ඩු නුවර ආරක්ෂාව තර කර තිබේ.














