නේපාලයේ ඉදිරි මහ මැතිවරණය මාර්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක, පසුගිය 2025 වසරේදී එරට තරුණ ප්‍රජාව (Generation Z) විසින් සිදුකළ ඓතිහාසික විප්ලවය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය නැවතත් අවධානය යොමු කර තිබේ. දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ඇරඹුණු මෙම අරගලය දින පහක් වැනි කෙටි කාලයකදී එවකට පැවති කේ.පී. ෂර්මා ඕලි (KP Sharma Oli) ගේ රජය පෙරළා දැමීමට සමත් විය.
නේපාල රජය විසින් ෆේස්බුක්, යුටියුබ් සහ එක්ස් (X) ඇතුළු සමාජ මාධ්‍ය අඩවි 26ක් තහනම් කිරීමට ගත් තීරණය තරුණ ප්‍රජාව වීදි බැසීමට ප්‍රධාන හේතුව විය. මෙම තහනමෙන් නිදහස් කර තිබූ ‘ටික්ටොක්’ (TikTok) හරහා දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවිත සහ සාමාන්‍ය වැසියන්ගේ දුෂ්කරතා පෙන්වන වීඩියෝ ලක්ෂ සංඛ්‍යාත වාරයක් ප්‍රචාරය වීමත් සමඟ ජනතා විරෝධය ලැව්ගින්නක් සේ පැතිර ගියේය.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් සිසුන් ඇතුළු 74 දෙනෙකු මියගොස් 2,000කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ඕලි රජය ඉල්ලා අස්වූ අතර, 2025 සැප්තැම්බර් 12 වැනිදා හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි (Sushila Karki) නේපාලයේ ප්‍රථම කාන්තා අන්තර්වාර අගමැතිනිය ලෙස දිවුරුම් දෙනු ලැබුවාය.














