එළඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැනට පවතින තත්ත්වය අනුව දේශීය වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.
විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා “කළුකඩ මිලට” විකිණීම බරපතල ගැටලුවක් වී ඇති බවත්, මේ පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. රට තුළ හිඟතාවයක් පවතින ඇතැම් ආහාර සහ ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව දැනටමත් තීරණය කර ඇති අතර, පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම රජයේ මූලික අරමුණ වී තිබේ.














