නේපාලයේ පැවැති ඓතිහාසික මහ මැතිවරණයෙන් එරට දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින් රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ බලේන්ද්‍ර ෂා හෙවත් ‘බලෙන්’ නායකත්වය දෙන රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය (RSP) විශිෂ්ට බහුතර ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. වසර හතරක් වැනි කෙටි ඉතිහාසයක් ඇති මෙම පක්ෂය ලබාගත් ජයග්‍රහණය නේපාලයේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් සහ බල ව්‍යුහයන් මුළුමනින්ම බිඳ හෙලීමට සමත් වී ඇත. විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඕලිගේ ප්‍රබල බලකොටුවක් ලෙස සැලකෙන ජාපා 5 ආසනයෙන් ඔහුව පරාජය කරමින් බලෙන් ලබාගත් ජයග්‍රහණය මෙම මැතිවරණයේ සුවිශේෂීම සන්ධිස්ථානය ලෙස සටහන් වේ.
දශක ගණනාවක් පුරා පැවති දූෂණය සහ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව කලකිරීමට පත්ව සිටි නේපාල ජනතාව නව දේශපාලන සංස්කෘතියක් කෙරෙහි තැබූ බලාපොරොත්තුව මෙම ප්‍රතිඵලයෙන් මනාව පිළිබිඹු වේ. කත්මණ්ඩු නුවර නගරාධිපතිවරයා ලෙස වසර තුනක පමණ කෙටි අත්දැකීමක් පමණක් ඇති 35 හැවිරිදි බලේන්ද්‍ර ෂා කෙරෙහි තරුණ පරපුරේ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය පාලනය පිළිබඳ පෙර අත්දැකීම් නොමැති තරුණ පක්ෂයක් රටේ පාලනය භාර ගැනීමත් සමඟ නේපාලය දැන් දේශපාලනිකව නොදන්නා මාවතකට අවතීර්ණ වී ඇති අතර ජනතාවගේ ඉහළ අපේක්ෂාවන් ඉටු කිරීම ඔවුන් හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි.














