ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා සිය දේශපාලන ගමනේ දැඩි අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටියද, ඊයේ (30) එරට පාර්ලිමේන්තුව වන කනෙසෙට් (Knesset) මඟින් වාර්ෂික රාජ්‍ය අයවැය සම්මත කර ගැනීමට ඔහු සමත් වී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙලෙස අයවැයක් සම්මත කර ගැනීම නෙතන්යාහු ලැබූ දුර්ලභ ජයග්‍රහණයක් ලෙස සැලකේ. මැතිවරණ සමීක්ෂණවලට අනුව ඔහුගේ සභාග රජය පසුබෑමක පසුවුවද, මෙම අයවැය ජයග්‍රහණය ඔහුට යම් දේශපාලන ස්ථාවරත්වයක් ලබා දී ඇත.
විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා නෙතන්යාහුට පවතින ප්‍රධාන වාසියක් වන්නේ ඉරානය සමඟ පවතින යුද ගැටුම් සඳහා ඊශ්‍රායල ජනතාවගෙන් සැලකිය යුතු සහයක් හිමිවීමයි. ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (Israel Democracy Institute) විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව, එරට ජනතාවගෙන් 68%ක් තවමත් යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බව විශ්වාස කරති. යුද්ධය ආරම්භයේදී මෙය 81%ක්ව පැවති අතර, එය යම් ප්‍රමාණයකින් අඩු වී තිබුණද නෙතන්යාහුගේ දේශපාලන තීන්දු තීරණ සඳහා එම සහය මහඟු පිටුවහලක් වී තිබේ.
කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණයේදී නැවතත් රජයක් පිහිටුවීමට නෙතන්යාහුට ඇති අවස්ථාව ඉතා අවම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුවද, විපක්ෂ කණ්ඩායම් ඒකරාශී වීම නෙතන්යාහුගේ ඉදිරි ගමනට බාධාවක් වනු ඇත. එබැවින් විපක්ෂය බෙදී පවතිනු ඇතැයි යන බලාපොරොත්තුව මත නෙතන්යාහු සිය දේශපාලන උපක්‍රම මෙහෙයවමින් සිටී.














