ඉරානය සහ ඇමෙරිකා-ඉශ්‍රායල හවුල්කාරිත්වය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (මාර්තු 12) ලෙබනන රජය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය. හිස්බුල්ලා (Hezbollah) සංවිධානය නිරායුධ කිරීමට ලෙබනනය අපොහොසත් වුවහොත්, ඉශ්‍රායලය විසින්ම භූමියට පැමිණ (On the ground) එම කටයුත්ත සිදු කරන බව ඔහු අවධාරණය කළේය.
ටෙහෙරාන් නුවරදී අයතුල්ලා අලි ඛමේනි ඝාතනය කිරීමෙන් පසු ඉරානයට සහය දක්වමින් හිස්බුල්ලා සංවිධානය ඉශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙතන්යාහු පැවසුවේ, “ඔබ හිස්බුල්ලා සංවිධානයට ක්‍රියාත්මක වීමට දිගින් දිගටම ඉඩ ලබා දෙන්නේ නම් ඔබ සෙල්ලම් කරන්නේ ගින්දර සමඟයි” යනුවෙනි. හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම ලෙබනන රජයේ වගකීමක් බවත්, එය ඉටු නොකරන්නේ නම් ඉශ්‍රායල ගොඩබිම් හමුදා යොදවා හෝ එය සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රකාශයත් සමඟ බීරූට් (Beirut) අගනුවරට ඉශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් රැසක් මියගොස් ඇති බව වාර්තා වේ. ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) ප්‍රකාශ කරන්නේ තමන් මෙම යුද්ධය අපේක්ෂා නොකළ බවත්, එය අවසන් කිරීමට දිවා රාත්‍රී වෙහෙසෙන බවත්ය. කලාපීය යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක ඉශ්‍රායලය සිය මෙහෙයුම් පුළුල් කිරීමට සූදානම් වෙයි.
















