මැදපෙරදිග යුද ගින්න දැඩිව ඇවිළෙමින් පවතින පසුබිමක, තම සමීපතම මිතුරා වන අමෙරිකාව තමන්ට හොර රහසේ ඉරානය සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාර දියත් කළ ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර පවතින මෙම සැකය හා නොසන්සුන්තාවය, ‘ඇක්සියෝස්’ (Axios) වාර්තා මගින් තහවුරු කර ඇත. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඉරානය සමඟ සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරන්නේද යන්න දැන ගැනීමට නෙතන්යාහු ධවල මන්දිරය වෙත පණිවිඩයක් ද යවා තිබේ.
ධවල මන්දිරය මෙම සැකය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තම පරිපාලනය ඊශ්‍රායලයට පිටුපසින් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවයි. කෙසේ වෙතත්, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කළේ ඉරාන බුද්ධි අංශ විසින් සීඅයිඒ (CIA) වෙත යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කර ඇති බවයි. අමෙරිකානු සාම නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් දිනපතාම නෙතන්යාහු සමඟ සබඳතා පවත්වන බවත්, ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවත් අමෙරිකානු නිලධාරීන් සහතික කර ඇත.
මේ අතර, ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තිබූ අවස්ථාව මේ වන විට මඟ හැරී ඇති බවත්, එය දැන් ප්‍රමාද වැඩි බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth Social’ හි සටහනක් තබමින් පවසා තිබේ. “ඔවුන්ගේ ගුවන් ආරක්ෂාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය දැන් අහෝසි වී හමාරයි. ඔවුන්ට දැන් කතා කිරීමට අවශ්‍යයි. මම කිව්වා ප්‍රමාද වැඩියි කියලා!” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කර ඇත. අමෙරිකාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල පද්ධති මුළුමනින්ම විනාශ කිරීමයි.
නෙතන්යාහුගේ තවත් ප්‍රධාන කනස්සල්ලක් වී ඇත්තේ අමෙරිකාව ඉරානය තුළ “වෙනිසියුලාව වැනි විසඳුමක්” කරා යනු ඇතැයි යන්නයි. එනම්, දැනට සිටින පාලන තන්ත්‍රයේම යම් පුද්ගලයෙකු බලයට පත් කර අමෙරිකානු හිතවාදී රජයක් පිහිටුවීමයි. කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 49 දෙනෙකු මිය ගොස් ඇති පසුබිමක, අමෙරිකාව අපේක්ෂා කළ පුද්ගලයන් ද මිය ගොස් ඇති බව ට්‍රම්ප් පවසයි. මෙම තත්ත්වය හමුවේ යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතිද නැතහොත් නව පාලනයක් ස්ථාපනය වනු ඇතිද යන්න ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.















