නෙදර්ලන්තයේ පාසල් තුළ ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු සහ ටැබ්ලට් පරිගණක භාවිතය තහනම් කිරීමෙන් පසු සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ සමාජයීය හැසිරීම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. 2024 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළේ ප්‍රතිඵල පිළිබඳව රජය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පාසල්වලින් බහුතරයක් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. සමීක්ෂණයට ලක් කළ ද්විතීයික පාසල්වලින් 75%ක්ම වාර්තා කර ඇත්තේ දුරකථන තහනම නිසා සිසුන්ට පාඩම් වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වී ඇති බවයි. එමෙන්ම පාසල්වලින් තුනෙන් එකක් පමණ සිසුන්ගේ අධ්‍යාපන ලකුණු සහ ප්‍රතිඵලවල පැහැදිලි වර්ධනයක් නිරීක්ෂණය කර තිබේ.
පාසල්වලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් පවසා ඇත්තේ විවේක කාලයේදී සිසුන් එකිනෙකා සමඟ කතාබහ කිරීම සහ සබඳතා පැවැත්වීම ඉහළ ගොස් ඇති බවත් මෙය සයිබර් හිරිහැර (Cyberbullying) අවම කිරීමට ද දායක වී ඇති බවත්ය. පන්ති කාමර කළමනාකරණය කිරීම වඩාත් පහසු වී ඇති බවත් සිසුන් අතර පවතින අනවශ්‍ය තරඟකාරිත්වය සහ අවධානය වෙනතකට යොමු වීම් අඩු වී ඇති බවත් ගුරුවරු පවසති. නෙදර්ලන්ත රජය දැන් තවදුරටත් ඉදිරියට යමින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සහ TikTok, Instagram වැනි ඇප් සඳහා යුරෝපා සංගමය පුරා පොදු වයස් සීමාවක් පැනවීමට ද යෝජනා කර තිබේ. මෙම සාර්ථකත්වය හමුවේ එක්සත් රාජධානිය ඇතුළු තවත් යුරෝපීය රටවල් කිහිපයක් ද සිය පාසල් පද්ධතිය තුළ මෙවැනිම තහනමක් පැනවීමට අවධානය යොමු කර ඇත.















