ශ්‍රී ලංකාවේ 100%ක්ම ප්‍රතිජීවක රහිත (Antibiotic-free) කුකුළු මස් නිෂ්පාදනය කරන එකම ආයතනය වන නිව් ඇන්තනීස් ෆාම්ස් (New Anthoney’s Farms), සිය නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ වසර පහක අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙරට කුකුළු මස් නිෂ්පාදකයෙකු සිය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම ස්වාධීන විශ්වවිද්‍යාල පරීක්ෂණ මට්ටමකින් සහතික කිරීමට පියවර ගත් පළමු අවස්ථාව මෙය වන අතර, එමගින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින එකම ISO/IEC 17025 ප්‍රතීතනය ලත් රසායනාගාරය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ‘ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ රසායනාගාරය’ (FSQAL-UPDN) මගින් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවධීන්හිදී සාම්පල පරීක්ෂාවට ලක් කරනු ඇත. ප්‍රතිජීවක භාවිතය නිසා ඇතිවන ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (Antimicrobial Resistance – AMR) ලොව පුරා දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී ඇති පසුබිමක, නිව් ඇන්තනීස් සමාගම 2018 වසරේ සිටම කිසිදු ප්‍රතිජීවකයක් භාවිතා නොකර කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.
නිව් ඇන්තනීස් ෆාම්ස් ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පෙන්වා දෙන්නේ මෙය හුදෙක් වෙළඳ ප්‍රචාරණයක් නොව, දත්ත මත පදනම් වූ විද්‍යාත්මක තහවුරු කිරීමක් බවයි. ප්‍රතිජීවක රහිත නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා ඉහළ පිරිවැයක් සහ දැඩි ජීව ආරක්ෂණ (Biosecurity) ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත්, පාරිභෝගික සෞඛ්‍යය වෙනුවෙන් එම වගකීම ඉටු කරන බව ඔහු අවධාරණය කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සහ නිව් ඇන්තනීස් ෆාම්ස් කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා ඇතුළු නිලධාරීන් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබූහ.
නිව් ඇන්තනීස් සමාගම මීට පෙරද පාරිසරික හිතකාමී ඇසුරුම් (HarithaHari), හරිතාගාර වායු තහවුරු කිරීම (ISO 14064-1) සහ සත්ව සුබසාධන සහතිකකරණ වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් රැසක් දිනාගත් මෙරට ප්‍රමුඛතම ආයතනයකි. පසුගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් ඇති කිරීමට ද ඔවුන් පුරෝගාමී විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුත් මට්ටමකට ඔසවා තැබීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමත්ව ඇත.














