පවතින ඉන්ධන අර්බුදය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හමුවේ සකස් කරන ලද නව බස් ගාස්තු සංශෝධනය අද (23) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා පවසයි. මෙම සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ වහාම නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අවම ගාස්තුවේ සිට උපරිම ගාස්තුව දක්වා වූ ගාස්තු අවස්ථා 350ක් පමණ කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බවයි. මෙහිදී බස් ගාස්තුව 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අනුමැතිය ඉල්ලා ඇති අතර, එය මගී ජනතාවට මෙන්ම පෞද්ගලික බස් හිමියන්ට ද සාධාරණ වන අයුරින් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය ඇතැම් ප්‍රදේශවල අඩුවක් දක්නට ලැබෙන බවත්, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති බවත් වාර්තා වේ. මේ හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කළ මගීන් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹී ඇති අතර, ලංගම බස් රථ සියල්ල ධාවනයේ යොදවා මගී ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති බවද ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා පැවසීය.














