නිව් කැලිඩෝනියාවේ (New Caledonia) නූමෙයා අගනුවර ආසන්නයේ සිදුවූ මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු බලධාරීන් විසින් ආරම්භ කරන ලද මෝරුන් මැරීමේ මෙහෙයුම (Shark Cull) එරට තුළ දැඩි මතභේදයට හා ආන්දෝලනයකට තුඩු දී තිබේ. පසුගිය පෙබරවාරි 23 වනදා ‘වින්ග් ෆොයිල්’ ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයෙකු මීටර් තුනකට වඩා දිගැති කොටි මෝරෙකුගේ (Tiger Shark) ප්‍රහාරයට ලක්ව මියයාම මෙම තීරණයට හේතු විය. ඒ අනුව වෙරළ තීරයේ සිට මීටර් 300ක සීමාවක් තුළ පිහිනීම සහ ජල ක්‍රීඩා තාවකාලිකව තහනම් කර ඇති අතර, කොටි මෝරුන් සහ ගොන් මෝරුන් (Bull Sharks) ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
නූමෙයා නගරාධිපතිනිය වන සෝනියා ලගාඩ් පවසන්නේ, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා මෙම ‘නියාමන’ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බවයි. වෙරළට ඉතා ආසන්නයේ අසාමාන්‍ය ලෙස විශාල මෝරුන් ගැවසීම සිදුවන බැවින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් විකල්පයක් නොමැති බව ඇය අවධාරණය කරයි. මීට පෙර ඕස්ට්‍රේලියානු සංචාරකයෙකු මියගිය අවස්ථාවේදී ද මෙවැනිම මෙහෙයුමක් දියත් කළ අතර එහිදී මෝරුන් 127 දෙනෙකු මරා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, පරිසර සංවිධාන සහ දේශීය කනක් (Kanak) ප්‍රජාව මෙම ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පළ කරති. මෝරුන් මැරීමෙන් ප්‍රහාර වැළැක්වෙන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව පවසන පරිසරවේදීන්, මෙම මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරා ඇත. එමෙන්ම ස්වදේශික කනක් ජනතාව පවසන්නේ මෝරා යනු තම සංස්කෘතියේ පූජනීය සත්වයෙකු සහ මුතුන් මිත්තන්ගේ සංකේතයක් බවයි. මෝරුන් මැරීම වෙනුවට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම සහ වෙරළාරක්ෂක දැල් යෙදීම වැනි නවීන ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිති.














