නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානිගේ නිල නිවස ඉදිරිපිට පැවති උණුසුම් විරෝධතාවක් අතරතුර, එල්ල වීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක් වළක්වා ගැනීමට නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ (NYPD) නිලධාරී ආරොන් එඩ්වර්ඩ්ස් (Aaron Edwards) සමත් වී තිබේ. ජේක් ලැන්ග් (Jake Lang) විසින් මෙහෙයවනු ලැබූ මෙම විරෝධතාව අතරතුර, එමිර් බාලට් (Emir Balat) නැමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් ජනතාව දෙසට පුපුරණ ද්‍රව්‍යයක් (IED) විසිකර ඇති අතර, ඔහු තවත් එවැනිම උපකරණයක් භාවිත කිරීමට සැරසෙද්දී ආරොන් එඩ්වර්ඩ්ස් අසල තිබූ බාධකයකින් උඩින් පැන ඔහුව මෙල්ල කරගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 13කට අධික පිරිසක් නරඹා ඇති මෙම වීඩියෝව සහ ඡායාරූප හේතුවෙන් ආරොන් එඩ්වර්ඩ්ස් සැබෑ වීරයෙකු ලෙස බොහෝ දෙනා අගය කරති. එමිර් බාලට් සමඟ සිටි තවත් පුද්ගලයෙකු ළඟ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් ද ලුයිස් නවාරෝ (Luis Navarro) නැමැති අනෙක් නිලධාරියා විසින් ඉතා ඉක්මනින් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට සමත් වී ඇත. නගරාධිපතිවරයා මෙම නිලධාරීන් දෙදෙනාටම ප්‍රසිද්ධියේ සිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළේ, අතිශය අවදානම් සහගත තත්ත්වයකදී ඔවුන් දැක්වූ නිර්භීතභාවය හේතුවෙන් විශාල විනාශයක් වැළැක්වුණු බවයි. මෙම සිද්ධියත් සමඟ එමිර් බාලට් සහ ඔහුට සහාය දුන් ඉබ්‍රාහිම් කයුමි (Ibrahim Kayumi) නැමැති තරුණයින් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.














