දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය සහ නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරය (NZSLBT) එක්ව රුපියල් ලක්ෂ 60ක (නවසීලන්ත ඩොලර් 35,000ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.
නවසීලන්තයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ ශ්‍රී ලංකාරාම විහාරාධිපති වල්ගම මුනින්දවංශ නායක හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ මෙම මානුෂීය මෙහෙවර ක්‍රියාත්මක කර ඇත. ඕක්ලන්ඩ් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම පරිත්‍යාගය නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මව්බිම ආපදාවට පත් වූ අවස්ථාවේදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව දක්වන මෙම නොමසුරු දායකත්වය මහා කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් විය. මෙම අරමුදල් ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය හරහා ආපදා සහන සහ ප්‍රමුඛ පෙළේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් කඩිනමින් යෙදවීමට කටයුතු කරන බව ඔහු මෙහිදී සහතික විය.














