දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන දැඩි නියඟය, පසෙහි වෙසෙන ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ සාන්ද්‍රණය ඉහළ නැංවීමට හේතු වන බව ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනය (Caltech) මගින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මෙය ගෝලීය මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බව විද්‍යාඥයෝ පවසති.
පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, පස වියළී යාමේදී එහි ස්වභාවිකව පවතින ප්‍රතිජීවක ද්‍රව්‍ය ඉතිරිව ඇති තෙතමනය තුළ වඩාත් ප්‍රබල ලෙස සාන්ද්‍රණය වේ. මෙමගින් පසෙහි වෙසෙන බැක්ටීරියා එම ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන පරිදි ජානමය වශයෙන් වෙනස් වීමට (Selection pressure) පෙළඹේ. රටවල් 116ක දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ප්‍රදේශයක පවතින ශුෂ්ක බව සහ රෝහල් පද්ධතිය තුළ වාර්තා වන ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන අතර සෘජු සබඳතාවක් පවතින බවයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය (AMR) හේතුවෙන් යුරෝපා සංගමය තුළ පමණක් වසරකට පුද්ගල මරණ 35,000කට අධික සංඛ්‍යාවක් සිදු වේ. අප දූවිලි ආශ්වාස කිරීමේදී හෝ පස සමඟ ගැටීමේදී මෙම ප්‍රතිරෝධී බැක්ටීරියා ශරීරගත විය හැකි අතර, බැක්ටීරියා අතර ජාන හුවමාරු වීමේ ඉහළ හැකියාව නිසා සාමාන්‍ය ඖෂධවලට පාලනය කළ නොහැකි “සුපිරි බැක්ටීරියා” (Superbugs) නිර්මාණය වීමේ අවදානම ද වැඩි වේ.















