අභිනව නිදහස් පෙරමුණ (New Independent Front) දේශපාලන පක්ෂයේ අභ්‍යන්තර පාලනයට අදාළව අමිත් වීරසිංහ මහතාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගයන් තවදුරටත් දීර්ඝ කිරීමට කැස්බෑව දිසා අධිකරණය අද (13) නියෝග කළේය. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විධායක කමිටු රැස්වීම් කැඳවීම වැළැක්වීමට සහ අමිත් වීරසිංහ මහතා පක්ෂයේ නායකයා ලෙස පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීම වැළැක්වීමට මෙම නඩුව පවරා තිබුණේ එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් මහතා විසිනි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී අමිත් වීරසිංහ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු දක්වමින් මීට පෙර නිකුත් කර තිබූ වාරණ නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාළ වාරණ නියෝගයන් එළඹෙන 2026 මාර්තු මස 27 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත්තේය.
පැමිණිලිකාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් නීතිඥ සඳුනි පූර්ණිමා රත්නායක මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ නවීන් මහාආරච්චිගේ සහ නීතිඥ කෙත්මිණි හසරා යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. දේශපාලන පක්ෂයක නායකත්වය සහ පරිපාලනමය ගැටලුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින මෙම නඩුව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














