බ්‍රිතාන්‍යයේ ‘රිෆෝම් යූකේ’ (Reform UK) පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නයිජල් ෆැරාජ් (Nigel Farage), මුදල් ලබාගෙන පුද්ගලීකරණය කළ වීඩියෝ පණිවිඩ නිකුත් කරන ‘Cameo’ වෙබ් අඩවිය හරහා මතභේදාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවට බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත අනාවරණය කර තිබේ. 2025 වසරේ මුලදී පටිගත කරන ලද මෙම වීඩියෝවලදී, ඔහු ලිංගික අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින සුප්‍රකට රැප් ගායක සීන් ‘ඩිඩී’ කොම්බ්ස් (Sean ‘Diddy’ Combs) නිදහස් කරන ලෙස පවසා ඇති බව වාර්තා වේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇමරිකාවේ වසර 45ක සිරදඬුවමක් නියම වී සිටි හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ජුවාන් ඕලන්ඩෝ හර්නන්ඩස් (Juan Orlando Hernández) නිදහස් කරගැනීම සඳහා දරන උත්සාහයන් ද ඔහු අගය කර තිබේ. එක් වීඩියෝවක් සඳහා පවුම් 80කට අධික මුදලක් ලබාගෙන ඇති ෆැරාජ්, දැඩි මතධාරී සංක්‍රමණ විරෝධී පාඨයන් ද මෙහිදී භාවිත කර ඇති බව හෙළි වී ඇත. හිටපු ජනාධිපති හර්නන්ඩස්ට පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති සමාව ලබා දී තිබුණද, මෙම වීඩියෝ පටිගත කරන අවස්ථාව වන විට ඔහු වැරදිකරුවෙකු ලෙස සිරදඬුවම් විඳිමින් සිටියේය.
මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන නයිජල් ෆැරාජ්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම වීඩියෝ දේශපාලන ප්‍රකාශ හෝ මැතිවරණ ව්‍යාපාරික කටයුතු ලෙස නොසැලකිය යුතු බවයි. දහස් ගණනක් මෙවැනි සුබපැතුම් වීඩියෝ පටිගත කිරීමේදී ඇතැම් විට අත්වැරදීම් සිදුවිය හැකි බව ද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙවැනි මතභේදාත්මක පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.














