නයිජීරියාවේ ක්‍රියාත්මක බෝකෝ හරාම් (Boko Haram) සහ අයිඑස්ඩබ්ලිව්ඒපී (Iswap) යන අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් 386 දෙනෙකුට වසර පහක සිට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණය අද (11) පියවර ගෙන තිබේ. අබුජා අගනුවර පිහිටි ෆෙඩරල් මහාධිකරණයේදී සැකකරුවන් 500කට අධික පිරිසකට එරෙහිව පැවැති සමූහ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.
මොවුන්ට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනා වූයේ සටන්කාමීන් සඳහා අරමුදල් රැස්කිරීම, ආයුධ සැපයීම, ආහාර සහ තොරතුරු ලබාදීම මෙන්ම ලොජිස්ටික් සහය ලබාදීමයි. 2009 වසරේ සිට නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයේ පවතින මෙම අන්තවාදී කැරලි හේතුවෙන් දසදහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති අතර මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් වී ඇත. ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් නයිජීරියාවේ සංචාරය කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙස ඇමරිකාව ද සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.














