නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ අගනුවර වන මයිදුගුරි (Maiduguri) නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය තහවුරු කරයි. සඳුදා සවස් කාලයේදී මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, පළමු පිපිරීම නගර මධ්‍යයේ පිහිටි තැපැල් කාර්යාලයක් අසලදී ද, දෙවන පිපිරීම ඒ අසලම පිහිටි ජනප්‍රිය වෙළඳපොළක් අසලදී ද සිදුව තිබේ. මීට අමතරව මයිදුගුරි විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල සහ කලෙරි (Kaleri) ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ද තවත් පිපිරීම් වාර්තා වී ඇත. ප්‍රහාරයෙන් පසු නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.














