විදේශ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට රජයේ රැකියා ලබාදීම අත්හිටුවා ඇති බවට පැතිර යන මතය ප්‍රතික්ෂේප කරමින්, එවැනි උපාධිධාරීන්ට රජයේ පත්වීම් ලබාදීම නතර කර නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේය. ඊයේ (03) පාර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් ඕනෑම විදේශීය හෝ දේශීය ආයතනයකින් උපාධිය ලබා ඇති පුද්ගලයන්ට නියමිත තරග විභාගවලට පෙනී සිටීමෙන් රාජ්‍ය සේවයට පිවිසීමට කිසිදු බාධාවක් නොමැති බවයි. එම සහතිකපත්වල වලංගුභාවය පිළිගත් ක්‍රමවේදයකට අනුව සහතික කරන්නේ නම් ඔවුන්ට දේශීය උපාධිධාරීන් හා සමානවම අවස්ථාව හිමිවන බව ද මෙහිදී සඳහන් විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලබා දී ඇති අධිකරණ තීරණයක් සැලකිල්ලට ගනිමින් දැනට පවතින බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනස්කම් සිදු කිරීමට රජය සූදානම් වන බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අනුව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් නව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව මහාචාර්ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.













