2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගතවූ දින 45ක කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මෙම මරණ අතරට පසුගිය 13 වැනිදා තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී සිදුවූ අඹුසැමි යුවළ ඝාතනය ද ඇතුළත් වන අතර, එය මෙම වසරේ වාර්තා වූ ප්‍රථම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය ලෙස පොලිසිය හඳුන්වා දී තිබේ.
අකුරේගොඩ සිදුවීමෙන් පසු ගතවූ කෙටි කාලය තුළ එනම් ඊයේ (14) රාත්‍රියේද විනාඩි 30ක පමණ කාල පරතරයක් සහිතව වෙරළබඩ සහ කළුතර උතුර යන පොලිස් වසම්වලදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියගොස් ඇත. පොලිස් මූලස්ථාන දත්තවලට අනුව මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් මේ වන විට තවත් පුද්ගලයන් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිති. දිනෙන් දින ඉහළ යන මෙම අපරාධ රැල්ල මැඩලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන පවත්වන බවද වාර්තා වේ.














