උපතින් ආබාධ සහිත තැනැත්තියක නොවූ නිශා ශරීෆ්, කුඩා කල සිදු කළ ශල්‍යකර්ම කිහිපයකින් පසු ඇවිදීමේ හැකියාව අහිමි වූ කාන්තාවකි. මහනුවර අම්පිටියේ පදිංචි පකීර් ශරීෆ් සහ ෆරීඩා යුවළගේ තෙවන දරුවා ලෙස උපත ලැබූ ඇය, සිය සහෝදර සහෝදරියන් දුව පනිද්දී ගෙතුළට වී හුදෙකලාව වේදනාබර ළමා කාලයක් ගත කළාය. තම පිටේ තිබූ කුඩා ගෙඩියක් ඉවත් කිරීමට මාස තුනේදී සිදු කළ ශල්‍යකර්මය සහ ඉන් අනතුරුව සුෂුම්නාවේ සිදු කළ සැත්කම් හේතුවෙන් ඇයට ඇවිදීමේ හැකියාව අහිමි වී තිබේ.
වයස අවුරුදු හතේදී රාගම පුනරුත්ථාපන රෝහලට ඇතුළත් කළ නිශා, එහිදී වසර තුනහමාරක පමණ කාලයක් තනිවම ප්‍රතිකාර ලැබුවාය. කුඩා වයසේදී ආදරණීයයන්ගෙන් වෙන්වී රෝහල් ගතව සිටීම අතිශය කටුක අත්දැකීමක් වූ බවත්, මරණය වැනි බියකරු සිදුවීම් පවා සියැසින් දැකීම තම සිත ශක්තිමත් කිරීමට හේතු වූ බවත් ඇය පවසයි. අවසානයේ අත්වාරුවල සහයෙන් ඇවිදීමට හැකි මට්ටමට ඇය සුවය ලැබූ අතර, නිවසට පැමිණි පසු මල් පැළ වැවීම සහ ගෙදර දොරේ වැඩ කටයුතුවල නිරත වෙමින් ස්වයංපෝෂිත වීමට උත්සාහ කළාය.
සමාජයෙන් එල්ල වූ විවිධ අපහාස සහ “වැඩක් නැති ළමයෙක්” යන ලේබලය හමුවේ අධෛර්යයට පත් නොවූ නිශා, තමාට සිංහල භාෂාව ඉගෙන ගැනීමට පවා සිදුවූයේ ජීවිතයේ ඇති වූ සබඳතා සහ අභියෝග ජය ගැනීමට බව සිහිපත් කරයි. අද වන විට ඕනෑම අයෙකුගේ ගැටලුවක් වෙනුවෙන් නිර්භයව පෙනී සිටීමට තරම් ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගෙන ඇති ඇය, තමාට වෙනස් කොට සැලකූ සමාජයටම ආදර්ශයක් වෙමින් ජීවිතය ජය ගනිමින් සිටියි.














