ශ්‍රී ලංකාවේ ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය (NNDIS) මෙම මස පෝලන්තයේ කටෝවයිස් හි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව (කොප්24) හා සමගාමීව පැවැති දෙවන ගෝලීය රක්ෂණාවරණ සහයෝගීතා සංසදයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.
“ඵලදායි අවදානම් මූල්‍යකරණ විසදුමක් සදහා මග පැදීම” – යන තේමාව යටතේ දෙසැම්බර් 10 වන දින පැවැත්වුණු සමුළුවට ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය (NITF) ද සහභාගි විය. මෙම සංසදය වනාහි දේශගුණ සහ ආපදා අවදානම් මූල්‍ය සහ රක්ෂණ විසඳුම් සදහාවූ ගෝලීය රක්ෂණාවරණ සහයෝගීතා සංසදයේ වාර්ෂික සමුළුව වේ. ගෝලීය රක්ෂණාවරණ සහයෝගීතාවයේ ඉහලම උපදේශක කමිටුවේ සම සභාපතීන් වන බ්‍රෙන්සන් වෝස් (මාර්ෂල් දූපත් ජනරජයේ මුදල් ඇමති) සහ ආචාර්ය මරියා ෆ්ලස්බාත් (ජර්මන් ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්) සහ යුරෝපා සංගමය ඇතුළුව සාමාජික ආයතන දෙසීයකට වැඩි සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම සමුළුව පැවැත්විණි.
පාකිස්තානය, කොලම්බියාව, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ බටහිර අප්‍රිකාව යන රාජ්‍යයන්හි දේශගුණ සහ ආපදා අවදානම් මූල්‍ය සහ රක්ෂණ විසදුම කෙරෙහි උනන්දුවක් දැක්වීම හා ප්‍රවර්ධනය කිරීම සදහා සැසිවාර පහකදී සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාවේ වාරය සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජිතයන් සහ රක්ෂණ ආයතනයන් වෙත බාබරා නෙල් (KFW ප්‍රතිපත්ති අධ්‍යක්ෂක) විසින් ශ්‍රී ලංකා ජනගහනයේ දේශගුණ වෙනස්වීම් නිසා වඩාත් බලපාන ජනකොටස්වලට ජාතික රක්ෂණ ක්‍රමය මාර්ගයෙන් නවීන විසදුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඇරයුම් කරන ලදී.
ස්වභාවික අපදාවෙන් බලපෑමට ලක්වන රාජ්‍යයන් පහ අතර ශ්‍රී ලංකාව වඩාත් බලපෑමට ලක්වන රාජ්‍යයක් ලෙස ගෝලීය වශයෙන් හදුනාගෙන ඇත. 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රක්ෂණාවරණ ලබා නොමැති ජනගහනය ස්වභාවික ආපදාවන්ගෙන් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා රජය විසින් ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය පිහිටුවනලදී. එහි ආරම්භයේ සිට එම රක්ෂණාවරණ ක්‍රමය එහි ස්ථාවරත්වය කෙරෙහි බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් පවති. ශ්‍රී ලංකා සැසිවාරයේ, ජාතික රක්ෂණ භාර අරමුදල මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරි සනත් ද සිල්වා විසින් 2016 වර්ෂයේ එහි ආරම්භයේ සිට ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයේ පවතින අභියෝගයන් හා දියුණුව පැහැදිළිකරන ලදී. මෙම ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය, ස්වභාවික ව්‍යසනයෙන් මරණයට පත්වීම සහ පුද්ගලයන් අතුරුදන්වීම, හදිසි අවස්ථාවෙන් මුදාගැනීම් සදහාවූ වියදම්, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර ස්ථාන හානිවීම (වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10ට නොඅඩු), නිවාස විනාශ වීම යනාදි අවස්ථාවන්හීදී රක්ෂණාවරණය නොකළ ජනගහනය සදහා ජාතික භාණ්ඩාගාරයට බරක් නොවී සහනයක් ලබාදීම සදහා ඇතිකරන ලදී. 2018 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ අවුරුදු දෙකේ ජාතික රක්ෂණ භාර අරමුදල විසින් මෙම රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් බිලියන 5.5ට වඩා වැඩි වන්දියක් ගෙවන ලද අතර මෙම රක්ෂණ වාරිකය සදහා ජාතික භාණ්ඩාගරය විසින් රුපියල් මිලියන 800 ක් ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවන ලදී. මෙම ක්‍රමය මගින් රජයට සහ රක්ෂණාවරණ නොලද ජනතාවට වඩාත් ප්‍රයෝජන ලැබී ඇති අතර රජය විසින් ගෙවන ලද රක්ෂණ වාරිකය සහ ප්‍රති රක්ෂණාවරණ ගාස්තුව අතර ඇති පරතරය හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට වඩාත් පීඩනාකාරී අභියෝගයක් විය.
KFW විසින් පත් කළ ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ උපදේශක සහ ගෝලීය ව්‍යාපාර උපදේශක සමාගමේ විධායක අධ්‍යක්ෂක, චන්ද්‍රි ගුණවර්ධන විසින් ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදාවන්ට සහ එවැනි අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී මියුනික් රී ආයතනයේ හා රක්ෂණ සංවර්ධන සංසදයේ මිචෙල් රොත්, එයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය පෞද්ගලික සම්බන්ධතාවක් (Public private partnership.) හරහා පෞද්ගලික අංශයේ විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එය ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට සහ ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් වූ අතර ජාතික රක්ෂණය මත පදනම් වූ ආපදා අවදානම් මූල්‍ය විසදුමට ආරම්භයක් වූ ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇති බවට ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සනත් ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදී. රක්ෂණාවරණය නොකරන ලද ජනතාව සතු නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථානයන් වෙනුවෙන් රජයක් විසින් රක්ෂණාවරණයක් ලබාගන්නා ලෝකයේ ප්‍රථම ආකෘතිය මෙය බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මංජුල ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලද්දේ, ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය වනාහි ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින ස්වභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණාවරණය නොලද ජනගහනය වෙත ආරක්ෂණයක් ලබා දීමට ශ්‍රී ලංකා රජයට වඩාත් වැදගත් වැඩ පිළිවෙලක් වන බවයි. KFW විසින් රක්ෂණ විසදුම් අරමුදල සහ රක්ෂණ සංවර්ධන සංසදය හරහා ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් හා ඒ හරහා ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් වැඩපිළිවෙලක් කිරීමට ලබාදෙන සහාය ඔහු අගය කළේය.
බොන්හි 2017 පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ (කොප්23) ගෝලීය රක්ෂණ සහයෝගිතාවයේ අරමුණ වූයේ රාජ්‍යයන් දියුණු කිරීමට ශක්තියක් ලබාදීම සහ මිනිස් ජීවිත සහ සතුන් ආරක්ෂා කිරීම, දුප්පත් සහ ආපදාවන්ට ගොදුරු විය හැකි ජනතාව ආපදාවෙන් මුදා ගැනීම සහ ආරක්ෂා කිරීමයි. දේශගුණ සහ ආපදා අවදානම් සඳහා මූල්‍ය සහ රක්ෂණ විසඳුම් සම්බන්ධතාවයේ ප්‍රධාන අරමුණ වනුයේ මානුෂීය පීඩාකාරී බලපෑම් අවම කිරීම, දුප්පත් සහ ආපදාවන්ට ගොදුරුවිය හැකි ජානතාව ක්ෂණිකව මුදාගැනීම, අභ්‍යන්තර ජීවන තත්වය වර්ධන කිරීම යනාදියයි. මෙය පවතින රාජ්‍යයන්හි දේශගුණික සහ ආපදා අවදානම අවම කිරීමට රුකුළක් වන අතර නොයෙක් කොටස්කරුවන්, රාජ්‍යයන්, සමාජ සංවිධානයන්, අන්තර්ජාතික සංවිධානයන්, පුද්ගලික අංශයන් සහ අධ්‍යාපන ආයතයන්වලට මේ සදහා ආරධනා කරනු ලබයි. KWF හි රක්ෂණ විසදුම් අරමුදලේ කාර්යය වනුයේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන්හි ආර්ථිකය සංවර්ධනය කිරීම සහ ස්ථාවර දේශගුණ සහ ආපදා අවදානම අවම කිරීම යනාදියයි.රක්ෂණ විසදුම් අරමුදල වනාහි KWF විසින් ජර්මානු ෆෙඩරල් රාජ්‍යයේ ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් පිහිටුවන ලද්දකි.