උතුරු කොරියානු නායක කිම් ජොන් අන් (Kim Jong Un) මහතා සිය දියණිය වන කිම් ජූ ඒ (Kim Ju Ae) සමඟ පියොංයෑං නුවර අලුතින් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක සංචාරය කරමින් එහි ඇති සුරතල් සතුන් අලෙවිසැලක් නිරීක්ෂණය කළ බව එරට රජයේ මාධ්‍ය අද (03) වාර්තා කළේය. එහිදී ඔවුන් සුරතල් බලු පැටවුන් සහ බළල් පැටවුන් සමඟ සුහදව ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කර තිබේ.
2022 වසරේදී කිම් ජොන් අන්ගේ නියෝග මත ආරම්භ කරන ලද ‘හ්වාසොන්ග්’ (Hwasong) නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 40,000ක් පමණ ඉදිකර ඇති අතර, මීට පෙර ගොවිබිම් පැවති මෙම ප්‍රදේශය දැන් නවීන නේවාසික දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කර ඇත. බටහිර සම්බාධක මධ්‍යයේ වුවද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම ඉදිකිරීම් සිදු කළ බව උතුරු කොරියානු රජය පවසයි.
විශේෂයෙන්ම යුක්රේන යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ පවුල් වෙනුවෙන් ද මෙම නිවාස ව්‍යාපෘතියේ කොටසක් වෙන් කර ඇති බව මීට පෙර වාර්තා විය. නව නිවාස ලැබීම පිළිබඳව එරට වැසියන් මහත් ප්‍රීතියෙන් පසුවන බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වැඩිදුරටත් සඳහන් කර සිටියි.


















