ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රයට සහ ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව සංවිධානය කර ඇති “No Kings” (රජවරුන් එපා) විරෝධතා මාලාව අද (28) අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකදී ආරම්භ වී තිබේ. මෙය අමෙරිකානු ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම ජනතා විරෝධතාවක් වනු ඇතැයි සංවිධායකයෝ පවසති.
මෙම විරෝධතා මාලාවේ ප්‍රධානතම සිදුවීම මිනසෝටා (Minnesota) ප්‍රාන්තයේ ශාන්ත පෝල් නුවරදී පැවැත්වෙන අතර, ඒ සඳහා බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් (Bruce Springsteen) වැනි සුපිරි තරු ද සහභාගී වීමට නියමිතය. අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා ස්ථාන 3,100කදී විරෝධතා ලියාපදිංචි වී ඇති අතර, ඊට මිලියන 9කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ ලතින් ඇමෙරිකානු රටවල් රැසක ද “No Tyrants” (අත්තනෝමතික පාලකයන් එපා) යන තේමාව යටතේ විරෝධතා සංවිධානය කර ඇත.
ධවල මන්දිරය මෙම විරෝධතා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මේවා හුදෙක් වාමවාදී කණ්ඩායම්වල අරමුදල් මත ක්‍රියාත්මක වන, මහජන සහයෝගයක් නොමැති ක්‍රියාවන් බවයි. කෙසේ වෙතත්, විරෝධතාකරුවන් පවසන්නේ මෙය අත්තනෝමතික පාලනයට එරෙහිව නැගී සිටින පොදු ජනතාවගේ හඬ බවයි.














