ලොව හොඳම අවන්හල ලෙස කිහිපවරක්ම සම්මානයට පාත්‍ර වූ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පිහිටි ‘නෝමා’ (Noma) අවන්හලේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන පක්කැමියා වන රෙනේ රෙඩ්සෙපි (René Redzepi) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. සේවකයන්ට අනිසි ලෙස සැලකීම සහ බලපෑම් කිරීම පිළිබඳ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.
සිය ක්‍රියාවන් සම්බන්ධයෙන් සමාව ඉල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ පිළිබඳ පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් ඔහු එහි සඳහන් කර තිබේ. වසර 23 ක් පුරා ලොව පුරා ඉහළම ගෞරවයට පාත්‍ර වූ ‘නෝමා’ කණ්ඩායම තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත්, ලොස් ඇන්ජලීස් (L.A.) නුවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව මෙහෙයවීමට එම කණ්ඩායමට හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘New Nordic’ ආහාර සංස්කෘතියේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන රෙඩ්සෙපිගේ මෙම හදිසි ඉල්ලා අස්වීම ජාත්‍යන්තර සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඔහුගේ නික්මයාමෙන් පසු අවන්හලේ ප්‍රධාන පාලනය භාර ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ආයතනයේ අභ්‍යන්තරයේ සිටින දක්ෂ සූපවේදීන් කිහිප දෙනෙකුගේ නම් මේ වන විටත් ඒ සඳහා යෝජනා වෙමින් පවතී.














