නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද, බාල ප්‍රමිතියෙන් යුක්ත යැයි සැක කෙරෙන ගල්අඟුරු තොගවල ඉහළ රසදිය ප්‍රතිශතයක් අඩංගු විය හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) පෙන්වා දෙනවා. මෙමඟින් සමස්ත පරිසර පද්ධතියට මෙන්ම මිනිස් සිරුරටද බරපතළ හානි සිදු විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති, පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා සඳහන් කරන්නේ, ලංකාවට ආනයනය කරනු ලබන ගල්අඟුරුවල අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය සම්බන්ධයෙන් මෙරට මෙතෙක් කිසිදු අනිවාර්ය ප්‍රමිතියක් පනවා නොමැති බවයි. මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අවට ජීවත් වන ජනතාව දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව සිටිනවා.
ජාත්‍යන්තර අධ්‍යයනවලට අනුව ගල්අඟුරුවල අඩංගු රසදිය ප්‍රමාණය විවිධ මට්ටම් ගන්නා බවත්, උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකානු ගල්අඟුරුවල එය 0.01 සිට 0.49 ppm (parts per million) දක්වා වෙනස් වන බවත් ඔහු පෙන්වා දෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය මඟින් රසදිය විමෝචනය 0.01 mg/Nm³ දක්වා සීමා කර තිබුණද, ආනයනය කරන අවස්ථාවේදීම ගල්අඟුරුවල ඇති රසදිය මට්ටම පාලනය නොකර පිටවන දුමාරයේ රසදිය පාලනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව විතානගේ මහතා අවධාරණය කරනවා.
ගල්අඟුරු දහනය කිරීමේදී පරිසරයට මුදා හැරෙන මෙම රසදිය සාගර ජලයට මුසුවීමෙන් පසුව මත්ස්‍යයන්ගේ සිරුරු තුළ තැන්පත් වන බවත්, එම මසුන් ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට රසදිය ඇතුළු වන බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. 2018 වසරේදී කල්පිටිය ප්‍රදේශයේ සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ එහි පරීක්ෂාවට ලක් කළ කාන්තාවන් 36 දෙනෙකුගෙන් 28 දෙනෙකුගේම (එනම් 77% කගේම) හිසකෙස් සාම්පලවල ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිත සීමාව වන 1 ppm අගය ඉක්මවා රසදිය අඩංගු වී තිබූ බවයි. එක් කාන්තාවකගේ සිරුරේ එම අගය 15.584 ppm තරම් ඉහළ මට්ටමක පැවතීම අතිශය බියකරු තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරන මෙවැනි විෂ ද්‍රව්‍ය ආහාර දාමයට එක්වීමෙන් වෙරළබඩ සහ ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්වන බැවින්, ආනයනික ගල්අඟුරු සඳහා වහාම ජාතික ප්‍රමිතීන් හඳුන්වා දෙන ලෙසත්, සියලුම ගල්අඟුරු තොග ස්වාධීන පරීක්ෂාවන්ට ලක් කරන ලෙසත් පරිසරවේදීන් රජයෙන් ඉල්ලා සිටිනවා.














