නොරොච්චෝල ලක් විජය බලාගාරයේ දුම් කවුළුවකින් අසාමාන්‍ය ලෙස සුදු දුමාරයක් පිටවීම හේතුවෙන් අසැල්වැසි ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. බලාගාරයට ආසන්නව පිහිටි ඉලන්තඩිය ඇතුළු ගම්මානවල පදිංචිකරුවන් පවසන්නේ මෙම අසාමාන්‍ය දුම් පිටවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. බලාගාරය සඳහා බාල ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හටගෙන ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කර සිටිති.
මේ පිළිබඳව කළ විමසීමකදී බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු චින්තක දිසානායක මහතා ප්‍රකාශ කළේ බලාගාරයේ හදිසි කාර්මික දෝෂයක් හටගෙන ඇති බවත්, එය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත්ය. මෙම තත්ත්වය හේතුවෙන් විදුලි ධාරිතාවේ යම් අඩුවක් පැවතියද රට තුළ විදුලි විසන්ධියක් සිදු නොවන බව ඔහු සහතික කළේය. එසේම බාල ගල් අඟුරු භාවිත කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ප්‍රධාන ඉංජිනේරුවරයා, මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කාර්මික දෝෂයක් මත පදනම් වූවක් බව අවධාරණය කළේය.














