නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සීමා වීම සහ ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරි කාලසීමාවේදී විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. නොරොච්චෝලේ බලාගාරයෙන් බලාපොරොත්තු වූ ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම නිසා, පවතින විදුලි ඉල්ලුම සපුරාලීමට අධික පිරිවැයක් සහිත තාප බලාගාර (Thermal Power) වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුවීම මීට ප්‍රධාන හේතුවයි.
ඊයේ (21) දත්ත වාර්තාවලට අනුව, රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී (පස්වරු 7:00 ට) නොරොච්චෝලේ බලාගාරයෙන් උත්පාදනය කර ඇත්තේ මෙගාවොට් 630ක් පමණි. එම ඌනතාවය පියවා ගැනීම සඳහා තාප බලාගාර මගින් මෙගාවොට් 1031.7ක දැවැන්ත දායකත්වයක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදු විය. ඩීසල් සහ දැවි තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තාප බලාගාර හරහා විදුලි ඒකකයක් නිපදවීමේ පිරිවැය මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
මෙම අතිරේක නිෂ්පාදන පිරිවැය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම අතර ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. නොරොච්චෝලේ බලාගාරයේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් විසඳා නොගතහොත්, එම මූල්‍ය බර පාරිභෝගිකයා මත පැටවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි බලශක්ති ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති.














