නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කිරීම සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් හදිසි ප්‍රසම්පාදනයක් ලෙස මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නැව්ගත කිරීම් 5ක් ලෙස මෙරටට ලැබීමට නියමිත මෙම තොගය සපයා ගැනීම සඳහා ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම යටතේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබූ අතර, ඒ සඳහා ලංසුකරුවන් 6 දෙනෙකු ඉදිරිපත් වී සිටියහ.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අවම ලංසුව ඉදිරිපත් කළ ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd සමාගම වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය හිමිවීමත් සමඟ ඉදිරි මාසවලදී බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග බාධාවකින් තොරව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග අර්බුදය හමුවේ බලශක්ති ක්ෂේත්‍රයේ යම් යම් අභියෝග මතු වුවද, මෙම මිලදී ගැනීම හරහා විදුලි බල පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට රජය අපේක්ෂා කරයි.














