නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරයේ ගල් අඟුරු සැපයීමේ ගැටලු හේතුවෙන් ලබන අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ඇනවුම් කළ නැව් 36න් 22ක් මේ වන විටත් ගොඩබා අවසන් බවත් බලාගාරයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු වන බවත් එම අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඉතිරි ගල් අඟුරු තොග ද නියමිත පරිදි සැපයිය හැකි බවට අදාළ සැපයුම්කරු තහවුරු කර ඇති අතර අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් තොග ද ප්‍රමාණවත් පරිදි පවතින බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොවන බවට බලශක්ති අමාත්‍යංශය මහජනතාවට සහතික වෙයි.














